ප්‍රතික්ෂේපයේ යථාර්ථය

"බැදීම් "
මේ ලෝකෙ තියෙන ලස්සනම වචනෙ ඒ බැඳීම තුළ ජීවත් වෙනකන්.ඉතින් ඒ බැදීම් වලට කල්ඉකුත්වෙන දවසක් අපි කාටවත් ඇතියි කියලා මම හිතන්නෙ නෑ.. මොන යක්ෂණියක් වුණත් වෙඩරු හිත් වගෙ උණුවෙන තැන් එනවා...දැනෙන පිරිමියෙක් ළඟ ජීවිතෙ විදින්න හීන දකිනවා...දඩබ්බර පිරිමි මොළකැටි වෙනවා ඒ ආදරේ හමුවේ. හැමෝම ඇරියස් වෙච්චි කතන්දර හිතින් වළදාලා ආයෙම ඉපදෙන්න හීන මවනවා....

ජීවිත මොනපිටට පෙරළුණත් දුකම වළදන ජීවිතවලට ආශිර්වාදයක් කොහෙන්ම හරි බලාපොරොත්තු වෙන්න පුළුවන්නම් කොයිතරම් දෙයක්ද ඉතිම් ...

බැඳීම් හමුවේ ඇති වන හිමි වීම හා අහිමිවීම තුළ බොහෝ කාරණා යටපත් වෙලා තියෙනවා.හිමි වීම ගැන කොහොම කතා කරත් එතැන තියෙන්නේ සැනසීමක් විය යුතුයි.ඒත් ඒ අතරේ අහිමිවිම් කියන්නේ හිතට අප්‍රිය දෙයක්.ඒ තුළ ඉහළින්ම තියෙන ප්‍රතික්ෂේප වීම කියන කාරණයට මුහුණ දෙන්නේ කොහොමද ?

මනුෂ්‍යයෝ විදිහට අපට දරාගන් අමාරුම දේ ප්‍රතික්ෂේප වීම කියන එක. බොහෝ විට හැම කෙනෙකුගේම ජිවිතයට සමීප දෙයක් තමයි ප්‍රතික්ෂේප වීම කියන්නේ. ඒ වගේම තම ආදරණීයන් වෙන්ව යාම දරාගන්න අමාරුම අවස්ථාවක්. විශේෂයෙන් ම පෙම්වතා, පෙම්වතිය , සැමියා බිරිඳ තමන්ව ප්‍රතික්ෂේප කරනවනම් ඒ වේදනාත්මක බව වෙනමම දැනීමකි.ඒ අවස්ථාවට මුහුණ දුන් අයම මිස වෙනකෙක් නොදන්නා බැව් මාද වටින් ගොඩින් අසා ඇත. ඒ අසීරුම මොහොතක දරාගන්න බැරිවෙන විට බොහෝ විට තීරණයක් ගන්නවා දැන් ජීවත් වීමෙන් තේරුමක් නැතිවග. ඒ තත්වය මත බොහෝ විට දිවිනසා ගැනීම් සිදුවෙනවා. පෙර දිනකත් පුවතක් කණ වැදුනේ ශෝචනීය ලෙසින්මයි.

අපිට ජීවිතේ පවත්වාගෙන යාමට නම් ආදරේ , සැනසීම , මානසික සතුට කියන දේ අනිවාර්යයෙන් ම බලපානවා. භෞතික වශයෙන් හෝ සමාජීය වශයෙන් කුමන අඩුපාඩුකම් , අපොහොසත් කම් තිබුනත් සෙනෙහස තියන තැන නනර වෙනවා. ඒ ආදරෙ ජීවිතේම කරගෙන ජීවත් වෙන්න උත්සාහ ගන්නවා. කුමන හෝ කාරණාවක් මත ආදරේ තමාව ප්‍රතික්ෂේප කරොත් ඉදිරියට කෙසේ නම් මුහුණ දිය යුතුද කියන තැනට මනස සුදානම් කර ගැනීමක් කර ගන්නෙ නෑ. හිතේ ඇති වන හැඟුම් ප්‍රකට විශ්වාසයක් ඇති කරගන්නවා ජිවිත කාලේම ඇය , ඔහු සමඟ ජීවත් විය යුතු වග. අනාගතයෙ සැලසුම්, සිහින, අරමුණු, බලාපොරොත්තු සියලු දේ මවන්නේ ඒ බැඳීම මත. ආදරය කියන කාරණාවෙන් ඔබ්බට නොගත් සිතුවිලි ඔස්සේ මනස හැඩගස්වා ගන්නෙ මෙන්න මේ විදියට.

මොනයම් හෝ කරුණක් කාලානුරූපව මැවී ආදරය කියන පරිච්ඡේදය වෙත කොමාවක් හෝ නැවතුමක් තැබුණොත් ඉදිරියට ජීවත් වෙන්නෙ කොහොමද? සමාජෙට මුහුන දෙන්නෙ කොහොමද? යන අවස්ථාවන් තුල තාරුණ්‍යය කොටු වෙනවා. ඊට විසඳුමක් විදියට ජිවිතෙන් වන්දි ගෙවන්න පවා සුදානම් වෙනවා.ඒ විතරක් නෙවේ ඒ හා සම්බන්ධිත අනෙක් පාර්ශ්වය සමඟ ගැටුම් ඇති කර ගැනීමටත් , සංස්කෘතියට නීතියට පටහැනි යම් යම් කාරණා ඔස්සේ මනස උඩුදුවා විකල් සංසාර වෛරක්කාරයන් බවට පත් වනා කතා නම් එමටය. මනස සුදානම් කරගත්තේ සියලු සැලසුම් ගොඩනගාගත්තේ ඔහු හෝ ඇය සමග ජීවත් වීම සදහාය. අවුරුදු කීපයක් ඒ වෙනුවෙන් මනස හුරු කරලා තියෙන නිසා අපේ හිතට පණිවිඩයක් එනවා ඔහු හෝ ඇය නොමැතිව ඉදිරියට ජීවත් වීම අපහසු බව, ජීවිතයක් නොමැති බව.
බැඳීමකින් වෙන් වීම කියන්නේ බොහෝ පිරිසකට කායිකව ඒ දේ සිද්ද කරන්න පුලුවන් උනත් මානසිකව ඒ දේ සිද්ධ කරන්න බැරි වීම කියන දේ.තනියම ඉදපු සැළැස්ම තුළින් ඔබ්බට ගොස් තව කෙනෙක්ට බැඳුනම, ආකර්ෂණය නිසා නොකඩවා ලබාගැනීමත් එක්ක මනස ඒ කෙනා මතින් යැපෙන සැලැස්මකට අනුගත වෙනව,ඒ සැලැස්මට හුරු වෙලා ඉද්දි ඒ කෙනා ඉවත් උනොත්, තවත් පැවැත්මක් නෑ වගේ චින්තනයක් හැදෙනව. නැවත ඒ අදාල කෙනා ඉන්නව කියන දේ දැනුනොත් හොද හිතක් එක්ක නැවත මනස සුවපත් උනා වගේ දැනෙනවා. මේ ඇබ්බැහිවීමේ අවසානයක් නෑ. මේ විදියට සාමාන්‍ය ජීවිතය කඩාවැටීමේ ඉදල කෙනෙක්ගෙ ජීවිතය අවසන් වෙන තැනටම හේතු වෙන බොහෝය.

ජීවිතයේ මුහුණ දෙන මේ විරහා වේදනාත්මකඅසීරු මොහොත කෙසේ කොහොම කටයුතු කරන්නේද කියන තැන නිරුත්තර වීම මත ජීවිතය කල කීරිමට හේතු වෙනවා. මේ කලකරීම මත දිවිනසා ගැනීම සිදුවෙනවා. ඒ වෙලාවට දෙමාපියන් පවුලේ සහෝදරයින් කිසිකෙනෙක් වැදගත් නොවන බවකින් යුත් අමුතු , පටු ආකල්ප මැවෙනවා. පුද්ගලයෙකු තුළ තිබිය යුතු ඉවසීම හා දරාගැනිමෙ මානුෂික ගුණාංගයන්හි අවශ්‍යතාව දැඩි ලෙසම බලපාන්නෙ මෙන්නෙ මේ අසීරුම මොහොතට මුහුන දීමට. එම මොහොත ඉවසීමෙන් හයියට කටයුතු කරොත් ඊලග මොහොතේ සිට ජිවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය ලැබෙනවා.ඒ තුළ දරා ගැනීමේ ශක්තිය අවශ්‍ය වන්නේ අපහසුම මොහොත ගෙවා ඉවසීමෙන් යුතුව බලා හිදීමයි.අපෙ වචනෙන් කියනවනම් කාගෙන ඉන්න පුළුවන් නම් ඔබ දිනුම්. ඒ ලැබූ දිනුම පෞරුෂයට එකතු කලොත්,

ඊලග මොහොතෙ ඉදලා ශක්තියක් දැනෙනවා ඔහු හෝ ඇය නැති වුනත් තමාගෙ ජිවිතය ඉදිරියට පවත්වාගෙන යාමට සැලසුම් ගොඩනගාගන්න.එතැන්ට හයියට කාරණා සැසදීම අගනේය. අවශ්‍ය වන්නෙ සියල්ල ඉදිරියේ උපේක්ෂාවෙන් දරා ගැනීමට මනස සකස් කර ගැනීමයි. පොදුවෙ ගත් කල මනුෂ්‍ය හිත් ඕනෑම මොහොතක වෙනස් වෙන්න පුළුවන්.වෙනස් වීම කියනවානේ වෙනස් නොවන එකම දේ. හැඟීම් කියන්නෙ සඕනැම මොහොතක වෙනස් වෙන් පුළුවන් වාගේම අලුත් වන දෙයක්. යථා ස්වරුපය තේරුම් ගත යුතුයි. අපි කැමති අය අපි ලග ජිවිත කාලය පුරාම රැදිය යුතුය යන්න නියමයක් නැත. සැම සතු අයිතියක් , නිදහසක් තියෙනවා තමා සතු තීරනය ගන්න ඒ නිසා කවුරුත් ම බලෙන් රඳවා ලබා ගන්නා ආදරයක් ඵලක් නැති නියා සිතින් අවබෝධ කර ගත යුතුමයි.යන්න ඕන අයට යන්න දීලා ජිවිතේ ඉදිරියට පවත්වාගෙන යාම තමයි වැදගත් වන්නේ. මේ කාලය තුලදි ජිවිතේ බිදවැටීම් ඔස්සේ ඔබ තුල සැගව ඇති ශක්තිය නව ආලෝකයකින් යුතුව ඉස්මතු කර ගන්න පුළුවන් ලොකු අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ඔබට ඔව දිහා නැවත වරක් බලන් අවස්ථාවක් උදා වෙනවා. ඒ තුලින් මගහැරුනු දේවල් නැවත ගොඩනගා ගන්න. යම් විදියකින් ඔබ ජිවිතය අහිමි කරගන් හදන්නෙ තාවකාලිකව ජිවිතයට පැමිනි පුද්ගලයකු වෙනුවෙන් නම්. රිදෙන්නෙ ඔබටමයි. හඩන්නෙ ඔබව කුඩා කල සිට හදාවඩාගත් ආදරනීය දෙමාපියන්. ඔබ වෙනුවෙන් හා ඔබේ දෙමාපියන් වෙනුවෙන් ජීවත් වීම ඔබේ වගකීමයි. වැදගත්ම දේ දරාගැනීමට හැකි වන පරිදි මනස නිසි ආකාරව පවත්වා ගැනීමයි . එසේ නම් සිදු විය යුත්තේ දෑස් ඉදිරියේ සියලු දේ තම දෙපා මුලට කඩා වැටුනද ජීවිතයේ නිවැරදි ස්වරුපය වටහා ගත් ශක්තිමත් පුද්ගලයකු වීමයි. එය වූ කලී ගැහැනු වේවා පිරිමි වේවා සැමට පොදු නියායකි.ඉතින් සැමට සෑම දුකකට හයියට හිතක් සෑදෙන්ට කියලා පතනවා.

ධනා 🖤







Comments

Popular posts from this blog

ගෙල සිඳින අවියක්

කිමද නින්දා

ඔබේ කැපකිරීම අවැසි මොහොතයි.